කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව තීරණය කළ යුත්තේ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය අනුව පමණක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි අවධාරණය කර සිටියි. 22 වන දින සති අන්ත පුවත්පතක මුල් පිටුවේ “කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය” යනුවෙන් පළවූ පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
සත්වයාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
විද්‍යාත්මක තහවුරුව අත්‍යවශ්‍යයි
මරණයට නිශ්චිත හේතුව තීරණය කළ හැක්කේ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හරහා බවත්, එය අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිවකුට පෞද්ගලික මතය අනුව තීරණය කළ නොහැකි බවත් ඔහු පවසයි. සත්වයා මියගියේ පාචනයක් නිසාද, වෙඩි ප්‍රහාරයක් නිසාද නැතහොත් වෙනත් කරුණක් නිසාද යන්න තහවුරු විය යුත්තේ විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණ නිගමන මත පමණක් බවද ඔහු කියා සිටියි.
අනුමාන හෝ පෞද්ගලික මත පළ කිරීම වෙනුවට විද්‍යාත්මක නිගමන මත පදනම්ව කටයුතු කිරීම තම ස්ථාවරය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පුවත්පතෙන් ඉල්ලීමක්
තමන් ප්‍රකාශ නොකළ දෙයක් වාර්තා කිරීමෙන් මහජනතාව තුළ වැරදි මතයක් ඇතිවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ හේතුවෙන් එම වැරදි තොරතුර නිවැරදි කර, තම සැබෑ ස්ථාවරය ජනතාව වෙත ගෙන යාමට මුල් පුවතට ලබාදුන් සමාන ප්රමුඛතාවෙන්ම නිවැරදි කිරීම පළ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.






