ශ්‍රී ලංකා නීතිපතිවරයා සිදු කළ නිල ආරාධනයක් මත රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත්, අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එම හමුව පැවැත්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආරක්ෂක කරුණු බව සඳහන් වේ.

ආරක්ෂක කණ්ඩායමේ උපදෙස්

මෙම සංචාරයට පෙරාතුව මෙරටට පැමිණි පූර්ව ආරක්ෂක කණ්ඩායම විසින් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට නොයන ලෙස රුසියානු නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි පැවසේ.

එමෙන්ම ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ද අනාවරණය වී තිබේ.

අල්ලස් කොමිසම හමුවීම

කෙසේ වෙතත්, එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට රුසියානු නීතිපතිවරයා සැලසුම් කර ඇත.

එහිදී නඩු පැවැරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත වුවත්, එම හමුව සිදු කෙරෙන ස්ථානය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.