2027 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති නිසි පරිදි ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය ආයතනවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් විධිමත්ව සකස් කිරීම ඉතා වැදගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ප්‍රකාශ කළේය. අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් කොළඹදී පැවැති විශේෂ වැඩමුළුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් පවතින සීමිත මූල්‍ය සම්පත් උපරිම ඵලදායීතාවයෙන් යුතුව පරිහරණය කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් නියම කර ඇති මූල්‍ය විනය සහ වගවීමේ රාමුවට අනුකූලව වියදම් සහ සංවර්ධන කටයුතු සැලසුම් කළ යුතු බවට ද අවධානය යොමු කෙරිණි.

සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු

ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය, අයවැය ප්‍රතිපාදන, ආදායම් සහ වියදම් මෙන්ම රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. ප්‍රසම්පාදන කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් අවම කර ගනිමින් නියමිත කාලරාමුව තුළ ප්‍රතිපාදන ඵලදායීව භාවිත කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට පෙන්වා දී ඇත.

වැඩමුළුවට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන එච්.එම්.කේ.ජේ.බී. ගුණරත්න සහ ජී.එම්.ආර්.ඩී. අපොන්සු යන මහත්වරුන් විසින් වැඩමුළුවේ අරමුණු සහ ක්‍රියාකාරී සැලසුම්වල වැදගත්කම පැහැදිලි කරන ලදී. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රියංකර ජයරත්න සහ ජනාධිපති අතිරේක ලේකම් එන්.එස්. වනසිංහ යන මහත්වරුන් ද 2027 නව ව්‍යාපෘති කඩිනම් කිරීම සහ යථාර්ථවාදී සැලසුම් සැකසීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.

මීට අමතරව ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.එස්.කේ. සමරතුංග, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු අයි.එම්.එස්. බණ්ඩාර සහ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.එම්.යූ.පී. අබේසේකර යන මහත්වරුන් ද අදහස් දැක්වූ බව වාර්තා වේ.