ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී රථවාහන මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් තවදුරටත් දැඩි කරන බව පොලිසිය නිවේදනය කරයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.

බීමත්ව මෙන්ම මත්ද්‍රව්‍ය අරගෙන රිය පදවන රියදුරන් කොටු කර ගැනීමට සිදුකරන වැටලීම් තීව්‍ර කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

අහඹු පරීක්ෂණ සහ නව උපකරණ

මේ සඳහා අවශ්‍ය බීමත්කම පරීක්ෂා කිරීමේ උපකරණ ප්‍රමාණවත් අයුරින් පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මීට අමතරව රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කෙරෙන අතර, කිසියම් රිය අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ධ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබේද යන්න ගැනත් සොයා බැලීමට නියමිතය. උත්සව කාලයේ රිය අනතුරු අඩු කර ගැනීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක වන බැවින් මෙවැනි වැරදිවලින් වළකින ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.