ජීවිතයේ කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී ශක්තියක් වනුයේ සිය දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය වෙනුවෙන් සිය නිල Facebook පිටුවේ සංවේදී සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙවර උපන්දිනයේදී පියා අසල රැඳී සිටිමින් සුබ පැතීමට නොහැකිව පවුලෙන් වෙන්ව අසීරු කාලයක් ගත කිරීමට සිදුව ඇති බවත්, සිර මැදිරියේ බැමිවලට එහා සිට පියා වෙනුවෙන් ඇති අසීමිත ආදරය සහ ගෞරවය මෙලෙස පළ කරන බවත් ඔහු එහි දක්වා තිබේ.

ඉතිහාසයේ අඳුරුතම කාලය සහ නායකත්වය

මෙරට ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී කිසිවෙකුට බිය නොවී රටට සාමය උදා කළ නායකයා මහින්ද රාජපක්ෂ බව නාමල් රාජපක්ෂ සඳහන් කරයි. ඒ වෙනුවෙන් දැරූ වගකීම් සහ කැපකිරීම් පිළිබඳව පුතෙකු ලෙස තමන් සමීපව දන්නා බවද ඔහු පෙන්වා දෙයි.

තමන්ට අද පියා අසල සිටීමට නොහැකි වුවද සිය දරුවන් ඔහු අසල සිටිනු ඇති බවත්, දෑත් වලින් වැළඳ ගත නොහැකි නිසා අකුරුවලින් වැළඳ ගන්නා බවත් පවසමින් ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ නම් වූ සිය පියාට නිරෝගී සුවය හා මානසික ශක්තිය ප්‍රාර්ථනා කරමින් ඔහු එම සටහන අවසන් කර ඇත.

“ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.”නාමල් රාජපක්ෂ