ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ දශක ගණනාවක් පුරා තම අසහාය රංගන කුසලතාවයෙන් ප්‍රේක්ෂකයන් පිනවූ ප්‍රවීණ රංගධර නීල් අලස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. ඒ මහතා මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සිය ආදරණීය රංගන ශිල්පියාගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනගැනීමත් සමඟ කලා ක්ෂේත්රයේ පිරිස් මෙන්ම සහෘද රසික රසිකාවියන් ද සමාජ මාධ්‍ය හරහා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සටහන් එක්කර තිබේ.
පාසල් වියෙන් ඇරඹි වේදිකා ගමන
1948 ජූනි මස 21 වැනිදා උපන් නීල් අලස් මහතා සිය කලා දිවියට මුලපිරුවේ පාසල් අවධියේදීමය. මිතුරන් පිරිසක් එක්ව කළ 'හැංගි මුත්තං' වේදිකා නාට්‍යයෙන් ඇරඹි ඒ ගමන, පසුව දයා වයමන්ගේ 'අම්මයි පුතයි' නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාව කරා යොමු විය. එහිදී දැක්වූ දක්ෂතා දුටු ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතා සිය 'දුන්න දුනුගමුවේ' නාට්‍යයට ඔහුව එක්කර ගත්තේය.
ඉන් අනතුරුව වේදිකා නාට්‍ය 75කට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය සැපයූ ඒ මහතා, 'කැලණි පාලම', 'තාරාවෝ ඉගිලෙති', 'ධවල භීෂණ', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'තල මල පිපිලා', 'ගජමන් පුවත' සහ 'අංගාරා ගඟ ගලා බසී' වැනි ප්‍රකට වේදිකා නාට්‍ය රැසකටම සම්බන්ධ විය.
පුංචි තිරය සහ සිනමාව ජයගත් මතකයන්
වේදිකාවට අමතරව සිනමාව සහ පුංචි තිරය තුළ ද ඔහු සුවිශේෂී සටහනක් තැබීය. 'සොල්දාදු උන්නැහේ' සහ 'පාලම යට' වැනි චිත්‍රපට හරහා මෙන්ම අතිශය ජනප්‍රිය වූ 'දූ දරුවෝ' සහ 'බැද්දේගෙදර' වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ද අමතක නොවන චරිත රැසක් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට ඔහු සමත් විය.






