ආර්මේනියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන සාකච්ඡාවක් අතරතුර දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවී දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සාකච්ඡාවට එක්ව සිටි මාධ්‍යවේදී බොරිස් මුරාසි සහ දේශපාලන විශ්ලේෂක හරුත්යුන් ම්ක්ර්ට්ච්යන් යන දෙදෙනායි. දෙදෙනා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ කෙළවර වූයේ ගුටිබැට හුවමාරුවකිනි.

සංස්කරණයකින් තොරව විකාශය කිරීම

විපක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව පැවැති The Great Debate වැඩසටහනේදී මොවුන් එකිනෙකාට අපහාස කරමින් වාදයක පැටලී ඇති අතර, පසුව සිය අසුන්වලින් නැඟිට එකිනෙකාට පහර දී ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධිය පසුගිය 13 වැනිදා වැඩසටහන පටිගත කිරීමේදී සිදුව ඇති අතර, නොවැම්බර් 15 වනදා එම වැඩසටහන විකාශය කර තිබේ. විශේෂත්වය වන්නේ මෙම ගැටුම කිසිදු සංස්කරණයකින් තොරව නාලිකාව මඟින් විකාශය කිරීමට පියවර ගැනීමයි.

නියාමන කොමිසමේ විවේචන

මේ අතර අදාළ ප්‍රචණ්ඩකාරී දර්ශන එලෙසින්ම විකාශය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ආර්මේනියාවේ රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන කොමිසම දැඩි විවේචනයක් එල්ල කර ඇත.

සහභාගිවන්නන්ගේ හැසිරීම, විවාදයේ උණුසුම් ස්වභාවය, ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමේ උත්සාහය හෝ අපක්ෂපාතී බව රැකීම වැනි කවර හේතුවක් මත වුවද, ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වය සහ අපහාස කිරීම් සාධාරණීකරණය කළ නොහැකි බව එම කොමිසම පෙන්වා දෙයි.