යුරෝපයේ විශාලතම ලිංගික අපරාධකරුවන් රඳවන සිරගෙදර ලෙස සැලකෙන කේම්බ්‍රිජ්ෂයර් හි එච්එම්පී ලිට්ල්හේ බන්ධනාගාරය වෙත පසුගිය සති අන්තයේදී මාරු කර යැවුණු 51 හැවිරිදි රසල් බ්‍රෑන්ඩ්, සිය බිරිඳ වන ලෝරා ගැලචර් හරහා පණිවිඩයක් නිකුත් කර ඇත. ඔවුන්ගේ සන්ඩේ සර්විස් යූටියුබ් විකාශය ඔස්සේ බයිබල් පාඨයක් කියවමින් ඇය මෙම පණිවිඩය ඉදිරිපත් කළාය.

තමාට නියම වූ වැරදි සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවත්, අසාමාන්‍ය යමක් සිදුවෙමින් පවතින බවත් බ්‍රෑන්ඩ් එහි සඳහන් කර තිබේ. බන්ධනාගාර කාර්ය මණ්ඩලය කරුණාවන්ත පිරිසක් බවත්, අනෙක් සිරකරුවන් විනිශ්චය කිරීමට තමාට නොහැකි බවත් ඔහු පවසා ඇත. 2004 සහ 2009 අතර කාන්තාවන් තිදෙනෙකුට අතවර කිරීම සහ 21 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී තිබුණි.

මිලියන ගණනක නිවස බිරිඳට පැවරීම

නඩු විභාගයට මසකට පෙර, සැප්තැම්බර් 13 වන දින ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි පවුම් මිලියන 3.8ක් වටිනා නිවසක අයිතිය බ්‍රෑන්ඩ් විසින් සිය බිරිඳට පවරා ඇති බව ලේඛන මගින් හෙළි වී ඇත. එහි වර්තමාන වටිනාකම මීට වඩා දෙගුණයක් පමණ විය හැකි බවට ප්‍රවීණයන් මත පළ කරයි.

අතවරයට ලක්වූ තවත් කාන්තාවන් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් අධිකරණ හරහා වන්දි නඩු පැවරීමට ඉඩ ඇති බැවින්, දේපළ අත්පත් කර ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම පැවරීම සිදු කළ බවට විශ්වාස කෙරේ.

නීතිය වෙනස් කරන්නැයි නැඟෙන හඬ

2006 දී තමන් 16 හැවිරිදි වියේ පසුවෙද්දී 30 හැවිරිදි වියේ පසු වූ බ්‍රෑන්ඩ්ගෙන් මාස තුනක් අපයෝජනයට ලක් වූ බව පවසන 37 හැවිරිදි මියා ලැටර්, නීතිය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියි. 18 ට අඩු දරුවන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම සාපරාධී වරදක් විය යුතු බව ඇය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. මීට පෙර චැනල් 4 නාලිකාවේ ඇලිස් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් ඇය මේ බව මුලින්ම හෙළි කළාය.

මේ අතර, කම්කරු සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ලේකම් පැට් මැක්ෆේඩන්, කන්සර්වේටිව් පක්ෂයේ හෙලන් වට්ලි සහ ව්‍යාපාරයක නිර්මාතෘ ලේලා ස්ටෝන් ද නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පෙන්වා දී ඇත. රසල් බ්‍රෑන්ඩ්ගේ මිතුරෙකු වන 53 හැවිරිදි ඩේවිඩ් වොලියම්ස්ට එරෙහිව ද 15 හැවිරිදි දැරියකට අතවර කළ බවට එල්ල වූ චෝදනාවක් මත මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශන පවත්වන අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.