රට තුළ පවතින ගෑස් හිඟයේ බලපෑම මේ වන විට කොළඹ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණ වෙත ද එල්ල වී තිබේ. විදෙස් තානාපතිවරුන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් වාසය කරන ගාලුමුවදොර ආසන්නයේ පිහිටි ප්‍රධාන නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ට සිය ගෑස් පරිභෝජනය හැකිතාක් සීමා කරන ලෙස එහි කාර්ය මණ්ඩලය කෙටි පණිවුඩ මඟින් දන්වා ඇත.

මධ්‍යගත නළ මාර්ග ඔස්සේ ගෑස් සැපයෙන මෙම සංකීර්ණයේ දැනට ඇත්තේ අවසාන ගෑස් තොගය බව පැවසේ. එම ඉතිරි ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට හැකිතාක් විදුලි උපකරණ භාවිත කරන ලෙසත්, අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් ගෑස් ගන්නා ලෙසත් නිවැසියන්ට දැනුම් දී තිබේ.

නාරාහේන්පිටත් අර්බුදයක

මේ අතර නාරාහේන්පිට පිහිටි මහල් නිවාස සංකීර්ණයක ද ගෑස් පවතින්නේ මෙම මාසයට පමණක් ප්‍රමාණවත් වන පරිදිය. එළඹෙන දෙසැම්බර් මාසයට අවශ්‍ය තොග නොමැතිවීමෙන් එහි කාර්ය මණ්ඩලය අසීරුතාවකට මුහුණ පා සිටී. එසේම 'හෝම් ඩිලිවරි' ක්‍රමයට ගෑස් සිලින්ඩර ලබාගන්නා නිවාස සංකීර්ණ කිහිපයකම එම සේවාවන් මේ වන විට ඇණහිට ඇති බවත් සඳහන් වේ.

ලාෆ්ස් සමාගමෙන් නැව් තුනක්

ඊයේ (04 වැනිදා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව ද ගෑස් නොමැතිව පීඩාවට පත් වූහ. කෙසේ වෙතත් පවතින ගැටලුවට විසඳුම් ලෙස මෙම නොවැම්බර් මාසයේදී ගෑස් රැගත් නෞකා තුනක් මෙරටට ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

නොවැම්බර් 12-14 සහ නොවැම්බර් 24-28 දිනවලදී හම්බන්තොට වරායට නෞකා දෙකක් ද, නොවැම්බර් 15-17 අතර කොළඹ වරායට එක් නෞකාවක් ද පැමිණීමට නියමිත බව සමාගම සඳහන් කරයි. හම්බන්තොට පර්යන්තයෙන් දේශීය වෙළෙඳපොළට සැපයුම් කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා ඇති අතර, 2027 වසරේ ජනවාරි සිට කොළඹ වරායට සෘජුව සැපයීමට නව ටෙන්ඩරයක් කැඳවූ බව ද සමාගම වැඩිදුරටත් නිවේදනය කර ඇත.