වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එදිනෙදා එළවළු මිලදී ගන්නා ජනතාව මෙන්ම වෙළඳසැල් හිමියන්ද දැඩි අසීරුතාවකට මුහුණ දී සිටියි.

ශීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල ගණන් මෙන්න

වෙළඳපොළ තොරතුරු අනුව මාළු මිරිස් කිලෝවක් රු. 950ත් 1,000ත් අතර මිලකටත්, කැරට් රු. 600ත් 700ත් අතර සහ ගෝවා රු. 600ත් 650ත් අතර මිලකටත් අලෙවි වේ. දෙහි කිලෝවක සිල්ලර මිල රු. 2,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රතු ලූනු, අමු මිරිස්, තක්කාලි සහ කරවිල කිලෝවක මිල රු. 800ක් ලෙස සටහන් වේ.

මීට අමතරව පතෝල රු. 600ක්, වම්බටු රු. 500ක්, බෝංචි සහ නුවරඑළිය අර්තාපල් රු. 450ක්, වට්ටක්කා සහ අළු කෙසෙල් රු. 400ක් මෙන්ම පිපිඤ්ඤා කිලෝවක් රු. 350ක් වැනි මිල ගණන් යටතේ අලෙවි වන බව සඳහන් වේ.

මිල වැඩිවීමට බලපෑ හේතු සහ වෙළඳුන්ගේ කතාව

පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු තද වැසි හේතුවෙන් එළවළු වගාවන් රැසකට හානි සිදුව ඇති බව වෙළඳුන් පවසයි. මේ නිසා වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් ලබාදීමට ගොවීන්ට නොහැකි වීම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී තිබේ.

මිල ගණන් අධික ලෙස ඉහළ යෑම නිසා පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු ද දැඩි ලෙස අඩාල වී ඇති බවත් හැටන් ප්‍රදේශයේ එළවළු වෙළඳුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.