කාවන්තිස්ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්.ආර්.එමි. කේ.කේ. විජේසුන්දර මහතා වෙතයි.

ඊට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගලෑව වනජීවි අඩවි ආරක්ෂක වීරකෝන් මහතාටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අතුරු වාර්තාව ගැන අධිකරණයේ අවධානය

මහාචාර්යවරයා එවා තිබූ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එහි ප්‍රශ්නාර්ථයක් මතුවන බවයි. හස්තියාගේ ශරීරයේ තිබූ නිදන්ගත තුවාල 3 මරණයට හේතු වී නැති බව එම වාර්තාවේ සඳහන් වන බවද පැවසේ.

එසේම උදරයේ දකුණු පස වෙඩි ප්‍රහාර 3ක සලකුණු සහ මූනිස්සම් 3ක් තිබී ඇති නමුත්, ඉන් කිසිදු අභ්‍යන්තර අවයවයකට හෝ ඉන්ද්‍රියකට හානියක් සිදුව නොමැති බවද අධිකරණයේදී ප්‍රකාශ විය. මෙම නඩුව කැඳවනු ලැබුවේ භාෂා පරිවර්තක යාකුබි ලෙබිබේ මොහොමඩ් ඉර්ෆාන් මහතා විසිනි.

නීතිඥ කරුණු දැක්වීම

වනජීවි ඡායාරූප ශිල්පි පැතුම් බණ්ඩාර මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ, හස්තියාගේ සිරුරේ විෂබීජ සහ විෂ තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවයි.

වෙඩි තැබීම් සහ අනතුරු හේතුවෙන් මෙරට අලි ඇතුන් විශාල පිරිසක් මියයාම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටත් තදින්ම බලපා තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.