2027 වර්ෂය සඳහා තෝරාගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් මෙන්ම සීලමාතාවන් සඳහා පාවහන් ලබාදීමට නියමිතව ඇත. ඒ සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කරගැනීම 2026.11.03 දින සිට 2026.12.20 දින දක්වා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මේ හරහා ලබාදෙන වවුචර්පත් 2026.11.10 දින සිට 2026.12.20 දින දක්වා වූ කාලය තුළ ඩිජිටල් ආකෘතියකට පරිවර්තනය කිරීමට පියවර ගන්නා බවද වාර්තා වේ.

පළාත් අනුව පාවහන් බෙදාදෙන ආකාරය

මෙම තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් 04 හි පාසල් සිසුන්ට විවෘත වෙළඳපොළ හරහා තමන්ගේ පාවහන් මිලදී ගැනීමේ හැකියාව පවතී.

කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් 05 හි පාසල් සිසුන්ට එම පහසුකම වෙනස් ආකාරයකින් හිමිවේ. එම පළාත්වල සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම පැමිණ පාවහන් ලබාදීමට නියමිත බව අමාත්‍යංශය පවසයි.