දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගතවූ පැය 12 ඇතුළත ඉහළම වර්ෂාපතනය ගාල්ලේ හිනිදුමෙන් සටහන් වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය 211mmක් ලෙස වාර්තා වේ.

ජලාශ රැසක වාන් දොරටු විවෘතයි

අධික වැසි හේතුවෙන් දැඳුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇත. මානන්කට්ටිය, උඩවලව සහ බඳගිරිය ජලාශවල දොරටු 4 බැගින්ද, අලිකොටආර ජලාශයේ දොරටු තුනක්ද විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව රාජාංගනය, අංගමුව, අඹේවෙල, යෝධවැව සහ මවුආර ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති අතර කැණියන් සහ කුකුළේ ගඟ ජලාශවල එක් වාන් දොරටුව බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උඩරට දුම්රිය ගමන් ඇනහිටී

ඇදහැලෙන මහ වැසි නිසා උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර හා නානුඔය දක්වාත්, රඹුක්කන සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

දිස්ත්‍රික්ක රැසකට නාය අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි ගොඩනැගිලි සහ ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව මගින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විමසිලිමත් මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දන්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශ සඳහා අවදානම් මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං සහ රළු මුහුදු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර ඇත. මෙම නිවේදන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් අද (08) පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා තොරතුරු මත පදනම්ව නිකුත් කරන ලද්දකි.