අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් නගරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. හැටන් නගරයේ බස් නැවතුම්පොළ වැසි ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, ප්‍රධාන මාර්ගය දිගේ ජලය ගලා යාම නිසා රථවාහන ධාවනයට ද බාධා මතුව ඇත.

බස් නැවතුම්පොළට ඉහළින් පිහිටි ගාමිණිපුර ප්‍රදේශයෙන් විශාල ජල ධාරාවක් ගලා ඒම හේතුවෙන් එම ස්ථානයේ නායයෑමේ බරපතළ අවදානමක් ද හටගෙන තිබේ.

කාර්යාල සහ නිල නිවාසවලටත් ජලය

වර්ෂාවත් සමග හැටන් කලාප කාර්යාලයේ ගිණුම් අංශයට ජලය කාන්දු වීම හේතුවෙන් එහි සේවයේ නියුතු නිලධාරීන් දැඩි අපහසුතාවකට මුහුණ දී ඇත. එහි තිබූ ලිපි ගොණු රැසකට මෙන්ම විදුලි උපකරණ ගණනාවකට ද හානි සිදුව ඇති බව සඳහන් වේ.

මීට අමතරව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ පහත මහළ ද වැසි ජලයෙන් යටවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කුඩාගමදී පස් කන්දක් කඩා වැටෙයි

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇනහිට තිබේ.

මේ අතර දීපාවලී උත්සවය සඳහා පිට පළාත්වලින් පැමිණි ඇතැම් ව්‍යාපාරිකයන් ඉවතලන කැලි කසළ මලු පිටින් ප්‍රධාන මාර්ගයේ ජල පහරට විසි කිරීම නිසා රථවාහන ධාවනයට තවත් බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.