සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් 30 වන දින මෙම ලිපිය යොමු කර තිබෙන අතර, එම කටයුතු ධර්ම විනයානුකූලව සිදුකිරීමට අවශ්‍ය බැවින් හැකි ඉක්මනින් දිනයක් සහ වේලාවක් වෙන් කර දෙන ලෙස එහි සඳහන් කර ඇත.
බන්ධනාගාරයේ පියවර
අවශ්‍ය පහසුකම් සූදානම් කර ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති මෙම ලිපියේ පිටපතක් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත ද යවා ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ලිපිය තමන් වෙත ලැබුණු බවයි. ඒ අනුව ඉදිරි උපදෙස් ලබාගැනීම පිණිස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද උන්වහන්සේගේ ඉල්ලීම ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් සඳහන් කර තිබේ.






