අද සවස් කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි පතිත විය හැකි බව වාර්තා වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ දැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම විශේෂ කාලගුණ නිවේදනය අද සවස 1.00 සිට 10වැනිදින අළුයම 01.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ. වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60–70 ක පමණ තාවකාලික තද සුළං හමා යා හැකි අතර මුහුද ද ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ.

අවදානම ඇති ප්‍රදේශ මෙන්න

අනුරාධපුර, කළුතර, කෑගල්ල, කිලිනොච්චි, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑලිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර සහ වව්නියා යන දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය බලපෑ හැකිය.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව, මඩකලපු දිස්ත්‍රික්කයේ කෝරලපත්තුව මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස, අම්බලන්තොට, ඕකෙවෙල, කටුවන, තංගල්ල, බෙලිඅත්ත, ලුනුගම්වෙහෙර, වීරකැටිය, සූරියවැව සහ හම්බන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද ගිගුරුම් සහ අකුණු අවදානම පවතින බව සඳහන් වේ.

ආරක්ෂා වීමට උපදෙස්

විවෘත ස්ථානවල සිටින අයට අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් එළිමහන් කටයුතු, ක්‍රීඩා සහ ඉදිකිරීම් කටයුතුවලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. ගස් හෝ බස් නැවතුම්පොළවල් යට රැඳී නොසිට ශක්තිමත් ගොඩනැගිලි හෝ ආරක්ෂිත වාහන තුළට පිවිසෙන ලෙසත් උපදෙස් දී තිබේ.

කුඩා ධීවර බෝට්ටු මුහුදු නොයා යුතු අතර, මුහුදේ සිටී නම් වහාම වෙරළට පැමිණිය යුතු බව ද දැනුම් දෙයි. ගිගුරුම් පවතින අවස්ථාවල රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට සිහිපත් කරයි.