2026 වසරේ මුල් මාස හය තුළ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය අන්ත දෙකක පවතින බව මුදල් අමාත්‍යාංශයේ වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ තාවකාලික දත්ත වාර්තාව අනාවරණය කර තිබේ. රාජ්‍ය බැංකු ඇතුළු ආයතන 40ක් විශාල ලාබ වාර්තා කරද්දී, තවත් ආයතන 12ක් දැවැන්ත මූල්‍ය අර්බුදයක පසුවන බව එහි සඳහන් වේ.
ප්‍රධාන රාජ්‍ය බැංකු තුන ඉහළම ලාබ ලබමින් ඉදිරියෙන්ම සිටියි. ලංකා බැංකුව රුපියල් බිලියන 62.6ක බදු පෙර ලාබයක් වාර්තා කර ඇති අතර, මහජන බැංකුව රුපියල් බිලියන 32.6ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 22.5ක ලාබයක් ලබා ඇත. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය රුපියල් බිලියන 36.5ක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 34.5ක ලාබයක් ලබා ගැනීමට සමත්ව තිබේ.
සහනාධාර මත ලාබ ලැබූ සහ පාඩු ලැබූ ආයතන
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 29.1ක බදු පෙර ලාබයක් පෙන්වා ඇතත්, ඒ පිටුපස රජය ලබා දුන් රුපියල් බිලියන 41ක සහනාධාරයක් පවතින බව වාර්තා වේ. සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් බිලියන 24.8ක ලාබයක් වාර්තා කර ඇති අතර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 16.1ක් සහ ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් බිලියන 12.8ක ලාබයක් ලබා ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 5.34 බැගින් ලාබ උපයා තිබේ. මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 3.5ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 2.6ක්, ලංකා විදුලිබල මණ්ඩලය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රුපියල් බිලියන 1.4 බැගින් මෙන්ම මිල්කෝ (පුද්ගලික) සමාගම රුපියල් මිලියන 999ක ලාබයක් වාර්තා කර ඇත.
අනෙක් අතට, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 35.5ක විශාල පාඩුවක් ලබමින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. 2025 වසරේදී ලාබ ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 471ක පාඩුවක් ද, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 185ක සහ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය රුපියල් මිලියන 37ක පාඩුවක් ද වාර්තා කර තිබේ. සීමාසහිත ලංකා සීනි සමාගම රුපියල් බිලියන 1.5ක්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන 166ක්, ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 68ක්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182ක් සහ සීමා සහිත ලංකා සතොස රුපියල් මිලියන 89ක පාඩුවක් සටහන් කර ඇත.
“අද වෙන කොට රාජ්‍ය ව්‍යවසාය විදියට හඳුනා ගත්ත ආයතන 52725 තිබෙනවා. නමුත් ඒවායින් කිහිපයක් විතරයි ව්‍යවසාය ලෙස ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් ආයතනවලට වෙනත් රාජකාරි තිබෙනවා. එතැනදී පැහැදිලිවම කියන්න ඕනේ රජයට වුවමනාවක් නැහැ ව්‍යාපාර සිදු කරන්න. රජයට ඕනෑ පහසුකම් සලසන්නෙක් ලෙස කටයුතු කරන්න විතරයි.”ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
රාජ්‍ය ව්‍යවසාය පද්ධතියට අලුත් පනතක්
මේ අතර රාජ්‍ය ව්‍යවසාය පද්ධතිය තුළ විශාල වෙනසක් කිරීමට රජය සැරසෙන බව වාර්තා වේ. ඉදිරියේදී එන නව පනත් කෙටුම්පතක් මගින් ඇතැම් ව්‍යවසායන් ප්‍රතිසංවිධානය, විවිධාංගීකරණය හෝ ඒකාබද්ධ කිරීම් සිදුවන බවත් සමහර ආයතන පෞද්ගලික අංශය සමග හවුල්කාරීත්වයෙන් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් පැවසේ.
මෙම සියලු ව්‍යවසායන් පොදු තනි නීතිමය රාමුවකට ගෙන ඒමට බලාපොරොත්තු වන අතර, වෙළෙඳපොළ තත්ත්වයන් මත ස්වාධීනව තීරණ ගත හැකි සංස්ථාගත සමාගම් බවට මේවා පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි මුදල්, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
ඊළඟට කුමක්ද?
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත අතර ඊට අවශ්‍ය නීති සංශෝධන ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.






