පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු සේවකයන්ට සභාව රැස්වන දිනවලදී ලබාදෙන ප්‍රවාහන දීමනාව ඉහළ දමන ලෙස සේවකයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින්ද රජයෙන් හා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. වර්තමාන ජීවන වියදම සලකා බලා මෙම පියවර ගන්නා ලෙස ඔවුන් පෙන්වා දෙයි.

වසර 15 කට ආසන්න කාලයක පටන් පාර්ලිමේන්තු සේවකයෙකුට ප්‍රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 750 ක මුදලක් පමණක් බව සේවකයෝ පවසති. ඈත බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශාල පිරිසකට වර්තමාන ප්‍රවාහන ගාස්තු හමුවේ මෙම මුදල කොහෙත්ම ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

අතිකාල දීමනාත් නැති පසුබිමක්

පාර්ලිමේන්තු රැස්වීම් පවතින දිනවල රාත්‍රී වනතුරු සේවය කළද ලැබෙන්නේ මෙම දීමනාව පමණක් බවත්, තමන් අතිකාල දීමනා පවා නොලබන පිරිසක් බවත් සේවකයින් සඳහන් කරයි. මීට පෙර හිමිවූ නිවාඩු හිලව් දීමනාව ඇතුළු තවත් දීමනා රැසක් මේ වන විට කප්පාදු කර ඇති හෙයින්, මෙම දීමනාව හෝ ඉහළ දමන ලෙස ජාතික ජන බලවේග රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෘත්තීය සමිති කිහිපයක්ම බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, මෙම සේවක දීමනාව කඩිනමින් වැඩි කළ යුතු බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකගේද එකඟතාව පළවී ඇති බව පැවසේ.