ඉදිරි දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රීපාද වන්දනා වාරයට පෙර එහි අලුත්වැඩියාවන් ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ. යූටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න ශ්‍රීපාදස්ථානයේ නඩත්තුව හා ආරක්ෂාව විවේචනය කරමින් වීඩියෝවක් නිකුත් කිරීමත්, ඊට ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් දැඩි ප්‍රතිචාර දැක්වීමත් මීට හේතුවයි.

ශ්‍රීපාදස්ථානයට ඇතුළුවීම තහනම් කර ඇති අවාර සමයක, වසා තිබූ ගේට්ටුවකින් පැන අනවසරයෙන් ඇතුළු වී මෙම වීඩියෝව කර ඇති බවට නායක හිමියෝ පවසති. ඇතුළුවීම වැළැක්වූ ආරක්ෂක නිලධාරියාටද ඔහු බැණවැදී ඇති බවත්, පෞද්ගලික ප්‍රචාරණ අරමුණු වෙනුවෙන් රජයට හා ආරක්ෂක අංශවලට බොරු චෝදනා නගමින් ඔහු අශෝභන ලෙස හැසිරුණු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අශේන් කියන කතාව

කෙසේ වෙතත්, අශේන් සේනාරත්න සිය වීඩියෝවෙන් පෙන්වා දුන්නේ ඇතැම් ආරක්ෂිත වැටවල් හා විදුලි පහන්වලට දැඩි හානි සිදුව ඇති බවයි. ආරක්ෂිත වැටක් ඇල්ලීමේදී තමන්ට විදුලි සැර වැදුණු බවත්, විදේශිකයකුට මෙවැනි අනතුරක් වුවහොත් රටටම අපකීර්තියක් වන බවත් ඔහු කීවේය.

මීට අමතරව 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු නායයෑම් නිසා ආ සුන්බුන් තවමත් ඉවත් කර නැති බවට චෝදනා කළ ඔහු, දෙසැම්බරයට පෙර මේවා හදන්නැයි ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. බැරි නම් එම කටයුත්ත තමන්ට භාරදෙන ලෙසද ඔහු ප්‍රකාශ කර තිබුණි.

“මේ ප්‍රොජෙක්ට් එක දැන්ම පටන් ගන්න වෙනවා දෙසැම්බර්වල ඉවර කරන්න නම්. ඉක්මනට මේ දේවල් ටික පිළිසකර කරලා මේ ශ්‍රීපාදය රැකගන්න වැඩ කරන්න. ඒක අපේ රාජකාරියක් වගේම ඔයාලගෙත් රාජකාරියක්. ජනතාවගේ රාජකාරියක්. ඒ වගේම ජනාධිපතිතුමනි, ඔබෙත් රාජකාරියක්”අශේන් සේනාරත්න

නායක හිමියන්ගේ පැහැදිලි කිරීම

මේ චෝදනාවලට පිළිතුරු දෙමින් බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හැටන් මාර්ගයට වූ හානි මේ වන විටත් යථා තත්ත්වයට පත්කර ඇති බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත රත්නපුර සහ නුවරඑළිය දිසාපතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ එක්ව එම කටයුතු කළ බව උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම මාර්ගයේ එක් තැනක තිබූ කුණු සහ සුන්බුන් කන්දක් ඉවත් කිරීමට 150කට අධික පිරිසක් යොදවා මාසයකට ආසන්න කාලයක් මහන්සි වූ බවද උන්වහන්සේ කීහ. අවාරයේ එන පිරිස්වල අසීලාචාර ක්‍රියා නිසා පළාබද්දර මාර්ගයේ ඉඳිකටුපාන දක්වා ඇති අම්බලම් හතර සහ වැසිකිළි පද්ධතිවලටද නිරන්තරයෙන් හානි සිදුවන බව නායක හිමියෝ පෙන්වා දුන්හ.