විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමඟ කොළඹ යටවීමට ප්‍රධානම හේතුව ජලය බැසයාමේ පවතින ගැටලු බවයි. කොළඹ ඇති කාණු පද්ධතිය ප්‍රමාණවත් වන්නේ මිලිමීටර් 30-50 අතර වර්ෂාවකට පමණක් බව නගරාධිපතිතුමිය පැවසූ බවද ඔහු සඳහන් කළේය.

කාලගුණ වාර්තාවලට අනුව 1992, 2005, 2016 මෙන්ම 1993 දී මිලිමීටර් 493.7ක් සහ 2010 දී මිලිමීටර් 440.2ක් වැනි විශාල වර්ෂාපතනයක් ලැබුණත් මෙවැනි විපතක් සිදු නොවූ බව ඔහු සිහිපත් කරයි. කාණු පද්ධතිය සංවර්ධනය නොවීම සහ අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා විශාල පිරිසක් පීඩාවට පත් වූ බව විපක්ෂ නායකවරයා කියයි.

ලෝකයේ දියුණු තාක්ෂණයෙන් විසඳුම්

සමගි ජන බලවේගය බලයේ සිටියා නම් සිංගප්පූරුව වැනි රටවල් භාවිත කරන Storm Water Drainage System වැනි උසස් කුණාටු ජල අපවාහන පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබූ බව ඔහු ප්‍රකාශ කළේය. පොළොව යට ජල ගබඩා ටැංකි, Pumping and Diversion System මෙන්ම Green Infrastructure වැනි සංකල්ප ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

තවද නෙදර්ලන්තය ක්‍රියාත්මක කරන Advanced Flood Management System ආදර්ශයට ගනිමින් ජල බාධක සහ ගංගා පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. මේ මොහොතේ එකිනෙකාට ඇඟිලි දිගු නොකර, විපක්ෂයද එක්කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති රජය මේවාට විසඳුම් සෙවිය යුතු බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටී.