අමාත්‍යාංශ දෙකක් වෙනුවෙන් නව ලේකම්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කරනු ලැබ ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක්

මීට පෙර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජකාරි කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

මෙම පත්වීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ නිලධාරීන් වෙත භාර දෙනු ලැබූ බව වාර්තා වේ.