කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අභිමානවත් ලෙස පැවැත්වුණු බව වාර්තා වේ.
ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉහළම දක්ෂතා දැක්වූ ආයතන මෙහිදී ඇගයීමට ලක්වූ අතර, ජයග්‍රහණය කළ ආයතන වෙත රන් සම්මාන පිරිනමනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
2021 න් පසු පැවති සම්මාන උළෙල
2003 වර්ෂයේදී ආරම්භ කර වසර දෙකකට වරක් පවත්වන මෙම සම්මාන තරගාවලිය මෙවර පැවැත්වුණේ 2021 වසරින් පසුව වීම විශේෂත්වයකි. එමෙන්ම මෙය රජයේ ප්‍රධාන වැඩසටහනක් වන Clean Sri Lanka ජාතික වැඩසටහන හා සම්බන්ධ කරමින් මෙවර සංවිධානය කර තිබිණි.
මෙම සම්මාන ප්රදානය හරහා රාජ්‍ය අංශය, පාසල් අංශය, නිෂ්පාදන සහ සේවා අංශය යන ප්‍රධාන අංශ තුන ආවරණය කෙරෙන අතර ආයතන යහපත් පරිචයන් අනුගමනය කිරීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිතය දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.
ඇගයීමට ලක්වූ නිර්ණායක
නායකත්වය, උපායමාර්ගික කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, පාර්ශවකරුවන් සමඟ සබඳතා, මෙහෙයුම් ක්‍රියාවලීන්, නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ මැනිය හැකි ඵලදායිතා ප්‍රතිඵල මෙහිදී ප්‍රධාන නිර්ණායක ලෙස සලකා බලා ඇත.
තවද Clean Sri Lanka වැඩසටහනේ ප්‍රධාන කුලුනු වන සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික කරුණු ඇතුළත් කරමින් සේවක සුබසාධනය, අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත ඵලදායිතාව මෙන්ම විනිවිදභාවය සහ වගවීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබේ.






