සෞදි අරාබියේ රැකියාවල නිරතව සිටියදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දුන් ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් අද (13) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පිරිනැමූ බව වාර්තා වේ.

මෙම මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අයකරගත් මුදල

අදාළ සේවකයින්ට නිසි කලට නොලැබී තිබුණු වැටුප් මෙන්ම දීමනා වෙනුවෙන් සෞදි රියාල් 639,381ක මුදලක් අයකර දීමට පියවර ගෙන තිබිණි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් ලක්ෂ 569ක් පමණ වේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය තුළ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා කම්කරු සුබසාධන අංශය කළ නීතිමය මැදිහත්වීම් හා මුදාගැනීම් හරහා මෙම මුදල් ලබාගෙන තිබේ.

එසේම නීතිවිරෝධී අයුරින් රඳවාගෙන සිටි ලාංකිකයින් පිරිසක් මුදාගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීමටද එම අංශය කටයුතු කර ඇති බව සඳහන් වේ. එලෙස එවා තිබූ හිමිකම් මුදල් අද දිනයේ එම ශ්‍රමිකයින් අතට පත් කෙරිණි.