ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්‍ර මෙහෙයුම් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවීන සිංගල් කැබ් රථ 84ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිරිනැමීම සිදු විය. මිනිස් අලි ගැටුමට කඩිනම් විසඳුම් සෙවීම මෙම පියවරේ ප්‍රධාන ඉලක්කයක් බව සඳහන් වේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) උදෑසන මහර – කඩවත ටොයෝටා (TOYOTA) ආයතනයේදී මෙම වාහන නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි.

සමස්ත වාහන සංචිතය 294ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා ඉතිහාසයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එකවර ලැබුණු විශාලතම වාහන සංඛ්‍යාව මෙය වන බව වාර්තා වේ. මෙම නව එකතු කිරීමත් සමඟ දෙපාර්තමේන්තුවේ මුළු වාහන සංචිතය 294ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16 ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09 සහ අත් ට්‍රැක්ටර් 01ක් වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අනාවරණය වේ.

හදිසි මෙහෙයුම් සඳහා වැඩි ශක්තියක්

වනජීවී ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති සම්පත් හිඟය පියවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, මෙම වාහන ලබාදීමේදී අලි – මිනිස් ගැටුම් බහුල ප්‍රදේශ සහ වන හානි වැඩි වශයෙන් සිදුවන අඩවි කාර්යාල වෙත මූලිකත්වය දී තිබේ.

අද භාර දුන් කැබ් රථ 84 නිසා නිලධාරීන්ගේ ප්‍රවාහන අපහසුතා මඟහැරී හදිසි මෙහෙයුම් සඳහා කඩිනමින් මැදිහත් වීමට හැකියාව ලැබෙන බව පෙන්වා දී ඇත. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න සහ ටොයෝටා ලංකා ආයතනයේ සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.