රටේ ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් ඇතැයි පැවසුවද ජනතාවගේ අතමිට සරුවී නොමැති බව ලෝක බැංකුව පෙන්වා දෙයි. කුටුම්භ ආදායම් සහ රැකියා වෙළෙඳපොළ තවමත් යහපත් මට්ටමකට පැමිණ නැති පසුබිමක, ඉහළ යන ආහාර වියදම ජනතාවට දැඩි ලෙස දැනෙන්නට පටන්ගෙන තිබේ.
2026 ඔක්තෝබර් මාසයේ දත්තවලට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ ආහාර උද්ධමනය සියයට 7.2ක් දක්වාද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය යටතේ එය සියයට 8.8ක් දක්වාද ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කරයි.
ඉදිරි වසරවලත් මිල අඩුවන ලකුණක් නෑ
ලෝක බැංකුව නිකුත් කළ Commodity Markets Outlook වාර්තාවට අනුව ඉදිරි කාලයද එතරම් සුබදායක නොවන බව පෙනී යයි. 2026 වසරේදී ආහාර මිල ගණන් සියයට 10.3කින්ද, 2027 වසරේදී සියයට 7.2කින්ද ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
යුද ගැටුම් නිසා සැපයුම් ජාල බිඳවැටීම, ප්‍රවාහන හා බලශක්ති ගාස්තු ඉහළ යාම, වෙළෙඳ බාධා මෙන්ම දේශගුණික අවදානම්ද ලොව පුරා මෙලෙස ආහාර මිල වැඩිවීමට මූලික හේතු වී ඇති බව වාර්තා වේ.
“විශේෂයෙන්ම සමස්ත ආහාර හිඟයකට වඩා, ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වීම, දේශගුණික කම්පන, ප්‍රවාහන හා බලශක්ති පිරිවැය ඉහළ යාම සහ අසමාන සමාජ ආරක්ෂණ වැඩසටහන් හේතුවෙන් දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අභියෝගය තවදුරටත් තීව්ර වෙමින් පවතී”ලෝක බැංකුව
එල් නිනෝ අවදානම සහ අඩු ආදායම්ලාභීන්ගේ තත්වය
කාලගුණික විපර්යාස හරහා එල්ල වන බලපෑමද ඉදිරියේදී තවත් බරපතළ විය හැකිය. ප්‍රබල එල් නිනෝ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය සහ නේපාලය යන රටවල වර්ෂාපතනය අඩුවී උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, එය වගා කටයුතුවලටද දැඩි පහරක් වනු ඇත.
මේ අතර මෙරට දරිද්‍රතා අනුපාතය තවමත් සියයට 16.9ක ඉහළ අගයක පවතින බැවින්, වැඩිවන ආහාර හා බලශක්ති වියදම් දරාගැනීමට නොහැකිව අඩු ආදායම්ලාභී පවුල් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ලෝක බැංකුව වැඩිදුරටත් අනතුරු අඟවයි.






