මේ දිනවල කුරුඳුවත්ත, බොරැල්ල, නුගේගොඩ, බොරලැස්ගමුව, වැල්ලවත්ත සහ කිරුළපන පමණක් නොව ගම්පහ, රත්නපුර හා ගාල්ල වැනි දිස්ත්‍රික්ක රැසකත් අහසේ කහ සහ සුදු පැහැති කුඩා සමනලුන් රංචු පිටින් පියාසර කරනු දැකගත හැකිය. උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ විටෙක පහළොවක් හෝ විස්සක් ලෙසත්, තවත් විටෙක සියයකට වඩා වැඩි රංචු ලෙසත් එකම දිශාවකට ඇදී යන මේ දසුන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබේ.

මෙය ඉදිරියේදී පැමිණෙන සුළි කුණාටුවක, භූමිකම්පාවක හෝ ස්වාභාවික ආපදාවක පෙරනිමිත්තක්ද නැතහොත් ජනප්‍රවාදයේ කියවෙන පරිදි ශ්‍රීපාදය හෙවත් සමනල කන්ද බලා යන ගමනක්දැයි බොහෝ දෙනා විමසති. කෙසේ වෙතත්, මෙය ආපදාවක පෙරනිමිත්තක් නොව සොබාදහමේ පාරිසරික චක්‍රයක් හා බැඳුණු සාමාන්‍ය සමනල පර්යටනයක් පමණක් බව පෙන්වා දී තිබේ.

සමනලුන් එක්වරම වැඩි වුණේ ඇයි?

සමනල විශේෂඥ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කරන අන්දමට, මෑතකදී ඇදහැළුණු මහ වැසි සමඟ නව දලු සහ පත්‍ර හටගනිමින් ශාක වර්ධනය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත. සමනලුන්ට බිත්තර දැමීමටත්, දළඹුවන්ට ආහාර ලබා ගැනීමටත් අවශ්‍ය ධාරක ශාක සරුවට වැඩීම නිසා සමනල ගහනය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

එක් ප්‍රදේශයක පවතින සම්පත් මෙම විශාල ගහනයට ප්‍රමාණවත් නොවන බැවින්, ආහාර සහ බිත්තර දැමීමට සුදුසු නව වාසස්ථාන සොයා ඔවුන් මෙලෙස රංචු පිටින් සංක්‍රමණය වීම සිදු කරන බව පැවසේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමනල සංක්‍රමණ සමය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා දෙවැනි අන්තර් මෝසම් කාලයේ ක්‍රියාත්මක වන අතර, මාර්තු සහ අප්‍රේල් මාසවලදී පළමු අන්තර් මෝසම් කාලය ආශ්‍රිතවද සුළු වශයෙන් දැකිය හැකිය.

පියාඹන්නේ කවුද? යන්නේ කොහේද?

මෙවර සංක්‍රමණයේදී මොවුන් වියළි කලාපය කරා වැඩි වශයෙන් ඇදී යන අතර, වැස්සත් සමඟ එම ප්‍රදේශවල ආහාර සම්පත් බහුල වීම ඊට හේතුවයි. අහසේ පියඹන රංචු අතර ප්‍රධාන වශයෙන් Lemon Emigrant, Mottled Emigrant, Lesser Albatross සහ Common Albatross යන සුදු හා කහ සමනලුන් දැකගත හැකිය. ඊට අමතරව උස් කඳුකරයේ සිටින Painted Lady විශේෂයද සුළු වශයෙන් නිරීක්ෂණය වී තිබේ.

සමනලුන් සියල්ලම එකම ගමනාන්තයකට හෝ ශ්‍රීපාදය දෙසටම ගමන් නොකරන අතර, සහකරුවන් සොයා ගැනීම සඳහා උස් කඳු මුදුන් වෙත ඇදී යෑම ‘Hill-topping’ ලෙස හැඳින්වේ. එසේම මොවුන්ගේ මේ ගමන් රටාව ස්වාභාවික ආපදා සමඟ සෘජු සම්බන්ධයක් ඇති බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයිද වාර්තා වේ.