දරුවන්ට සිදුවන විවිධ අපයෝජනයන් හැකිතාක් දුරට අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව වාර්තා වේ. මේ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ නීතීවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය කියා සිටියේ, වාර්ෂිකව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට වැඩි ප්‍රමාණයක් අධිකාරිය වෙත ලැබෙන බවයි.
අන්තර්ජාලයෙන් දරුවන්ට එල්ල වන තර්ජන
සයිබර් අවකාශය තුළ දරුවන් අනාරක්ෂිත වීම, යොවුන් ගැබ් ගැනීම් මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පරිහරණය නිසාද ළමුන් අනතුරට පත්වන බව මෙහිදී පෙන්වා දුනි. නොදැනුවත්ව සිදුවන වැරදිවලින් අවසානයේ හානි වන්නේ දරුවන්ට බැවින් මේ තුළින් පුරවැසි වගකීම තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරික දමුණුපොළ මහතා සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට වන අපයෝජන පැමිණිලි වේගයෙන් වැඩි වී ඇති බවයි. සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ දරුවන් සම්බන්ධ අන්තර්ගතයන් භාවිත කිරීම ඉහළ ගොස් ඇති බවද ඔහු අනාවරණය කළේය.
“ළමුන් සම්බන්ධ ඉතා සංවේදී අන්තර්ජාලයේ ඩිජිටල් මාධ්‍යයේ සිදුවීම් 53ක් වාර්තා වුණා 2025 වර්ෂය වන විට. ඒ අගය මේ වර්ෂයේ මේ නොවැම්බර් මාසය වන විට 180 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා.”චාරික දමුණුපොළ






