රජය ගෙන ඒමට සූදානම් වන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව සංශෝධනය විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් එම විශේෂඥයින් සඳහන් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නට යෝජනා කිරීම හොඳ පියවරක් ලෙස දකින බවයි.
පැරණි පනත මඟින් සුළුතර ප්‍රජාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සමාජය වෙත නොයෙක් හිංසනයන් එල්ල වූ බවද ඔවුන් පෙන්වා දී තිබේ.
විසඳිය යුතු ප්‍රධාන ගැටලු
නව පනත් කෙටුම්පතේ යහපත් ප්‍රවණතාවක් පෙනෙන්නට තිබුණත් තවමත් විසඳාගත යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පෙන්වා දෙයි.
රඳවා තබා ගැනීමේ නියෝග කඩිනම් සහ ඵලදායී අධිකරණ පාලනයකට මෙන්ම අධීක්ෂණයට යටත් විය යුතු බව ඔවුන් සඳහන් කරයි. එසේම අභියාචනා විභාග කරන ස්වාධීන සමාලෝචන කමිටුව සැබවින්ම ස්වාධීන ආයතනයක් විය යුතු බවත්, ත්‍රස්තවාදය යන්න හිතාමතා මරණය හෝ බරපතළ ශාරීරික හානි සිදුකිරීමට සීමා විය යුතු අතර දේපළ හානි ඊට ඇතුළත් නොවිය යුතු බවත් පෙන්වා දී තිබේ.
සමගි ජන බලවේගයේ ස්ථාවරය
මේ අතර ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට රජය යෝජනා කළ සංශෝධන ප්‍රමාණවත් නොවන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ, සංශෝධන ගෙන එන බව රජය පැවසුවත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් මට්ටමක නැති බවයි.






