අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ආණ්ඩුවට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කළේය. අනුරාධපුරය යනු මහා සංඝයා වහන්සේට වැඩ සිටීමට සියලු අයිතිවාසිකම් ඇති පූජා භූමියක් බවත්, එවැනි තැනකදී උන්වහන්සේට පහර දෙනු දුටු බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.
මාලිමා ආණ්ඩුව විසින්ම පුද්ගලයන් යොදවා ප්‍රශ්න නිර්මාණය කරමින් සංඝ භේදයක් ඇති කිරීමට මෙලෙස උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
සංස්කෘතිය විනාශ කිරීමේ ප්රශ්නය
රටක් විනාශ කිරීමට පහසුම ක්‍රමය එම රටේ සංස්කෘතිය විනාශ කිරීම බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින්, තමන්ට ඡන්දය දිනා ගැනීමට උදව් කළ පාර්ශ්වයන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේද යන ප්රශ්නය මේ වන විට මුළු ජනතාවටම මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
“අනුරාධපුරය කියන්නේ පූජා භූමියක්. මහා සංඝයා වහන්සේට වැඩ ඉන්න සියලුම අයිතිවාසිකම් හිමිකම් තියෙන ස්ථානයක්. එවැනි ස්ථානයකත් මහා සංඝයා වහන්සේට පහර දෙනවා අපි දැක්කා. මේක මේ මාලිමා ආණ්ඩුවේ පුද්ගලයින්ම යොදවලා ප්‍රශ්න ඇති කරලා සංඝ භේදයක් ඇති කරන්න උත්සාහ දැරීමක් තියෙනවා කියලා අපිට පේනවා.”සාගර කාරියවසම්






