දිවයිනට පවතින වැසිබර තත්ත්වය නිසා කාලගුණ වාර්තා කෙරෙහි ජනතාවගේ උනන්දුව වැඩි වී ඇති අතරතුර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍යවල විශේෂයෙන් ජනප්‍රිය වීමට කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මෙනවියගේ ඉදිරිපත් කිරීම් හේතු වී ඇති බව වාර්තා වේ.

ඉතා සරල, පැහැදිලි මෙන්ම ආකර්ෂණීය විලාසයෙන් ඇය දිනපතා ගෙන එන කාලගුණ නිවේදන වීඩියෝ බොහෝ පිරිසකගේ විශේෂ අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

උදේනිගේ තොරතුරු සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර

ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් වන පරිදි, කෑගල්ල ප්‍රදේශයේ ඉපදී එහිම ජීවත්වන ඇය පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් දෙදහස් දහය වසරේදී සිය උපාධිය ලබාගෙන ඇත. දෙදහස් පහළොවේ මැයි පස්වැනිදා සිට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥවරියක ලෙස රාජකාරි කරන ඇය තවමත් අවිවාහක බව සඳහන් වේ.

සැමියන් ඇයගේ කාලගුණ නිවේදනය වාර හත අටකට වඩා නරඹන බවට බිරියන් ප්‍රශ්න කරන බව කියමින් හාස්‍යජනක සටහන් ද සමාජ මාධ්‍යයේ සංසරණය වේ. අනාවැකි වැරදීම නිසා නිතර දෝෂාරෝපණයට ලක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උදේනි නිසා දැන් ගොඩ ගොස් ඇති බවට ද මත පළවෙයි.

ඉතිහාසයේ වැඩිම ප්‍රවේශ වීම්

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ, උදේනි වීරසිංහ මහත්මියගේ ඉදිරිපත් කිරීම් හරහා දෙපාර්තමේන්තු ඉතිහාසයේ සමාජ මාධ්‍ය තුළ වාර්තා වූ වැඩිම ප්‍රවේශ වීම් සංඛ්‍යාවකට ළඟාවීමට හැකි වී ඇති බවයි.

ඇය නිසා දෙපාර්තමේන්තුවට හිමිවූ මෙම නව ජනප්‍රියත්වය සමඟ මින් පෙර එල්ල වූ විවේචනවලින් කොටසක් හෝ අඩුවනු ඇතැයි ද ඔහු හාස්‍යයෙන් යුතුව සඳහන් කර තිබේ.