මෙරට තුළ වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් පමණ ඖෂධ නිකුත් කිරීමේ නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා මේ බව සඳහන් කළේය.

මෙම තත්ත්වය මෙරට මහජන සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් විෂබීජවල ප්‍රතිරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත්, එයට ප්‍රධානම හේතුව ලංකාවේ ප්‍රතිජීවක භාවිතය ඉහළ මට්ටමක පැවතීම බවත් හෙළි විය.

කවුද මේ නොවන වෛද්‍යවරු 40,000?

කිසිදු වෛද්‍ය විද්‍යාලයකට නොගොස් ෆාමසිවල සේවය කර බෙහෙත් අඳුනාගෙන ජනතාවට බෙහෙත් ලබාදෙන පිරිස් මේ අතර සිටින බව අනාවරණය විය.

නීතිය අනුව බටහිර වෛද්‍ය ඖෂධ ලබාදිය හැක්කේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට පමණක් බවත්, ඊට අමතරව ප්‍රතිජීවක නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි සාකච්ඡාවක් ඇතිවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“ඖෂධ සඳහා ප්‍රතිරෝධ නැඟෙමින් පවතිනවා විෂබීජවල. විශේෂයෙන් ප්‍රතිජීවක සම්බන්ධ. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රතිජීවක භාවිතය ඉතාමත්ම ලංකාවේ ඉහළයි. පළවෙනි කාරණය රෝගීන් ගෙවල්වලදීම ලෙඩ සඳහා ප්‍රතිජීවක ලබා ගන්නවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා ඉල්ලනවා අපිට ප්‍රතිජීවක ලබා දෙන්න.”විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු