පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කර තිබෙන ආගමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව කාරක සභා අවස්ථාවේදී සිදු කෙරෙන සංශෝධනවලට යටත්ව මෙම නව පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව වාර්තා වේ. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
පැරණි පනත් වෙනුවට නව නීති
351 වන අධිකාරිය වූ ආගාමික හා විගාමික පනත මෙන්ම 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත ඉවත් කරමින් මෙම නව පනත ගෙන එන බව නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ. ජෛවමිතික තොරතුරු ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව කටයුතු කිරීමට ද නෛතික සුරක්ෂිතතාව තහවුරු කර තිබේ.
තවද මෙතෙක් පැවති පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී යන තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන වන බව ද සඳහන් විය.
නීති විරෝධී ක්‍රියා මැඩලීමට පියවර
අනවසරයෙන් මෙරටට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මගින් බලය පවරන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට මෙයින් ප්‍රතිපාදන සැලසේ.
එසේම මෙරටින් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගනිමින් කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ නීතිය යටතේ නඩු පැවරීමටත්, ඒවා මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නීතිමය බලය හිමිවේ. විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා තැබීමකින් තොර ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර භාවිතය මෙන්ම ශ්‍රී ලාංකිකයන් සමග විවාහ වන විදේශිකයන්ට වීසා ලබා දීමේ ගැටලු කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.






