තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ මහතා අද (20) දිවයිනට පැමිණෙන්නේ නිල සංචාරයක් සඳහාය. මෙම සංචාරය එළැඹෙන 23 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.

රාජකීය කඨින පින්කම

තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙසින් පැමිණෙන ඒ මහතා හෙට (21) මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කමට එක්වීමට නියමිතය.

නායකයින් හමුව සහ වීසා ගිවිසුම

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සාකච්ඡා කිරීමට නියෝජ්‍ය අගමැතිවරයා සූදානමින් සිටියි. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

විදේශ ගමන්බලපත්‍ර හිමියන් වෙනුවෙන් වීසා නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව ගිවිසුමකට අත්සන් තැබීමටද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.