ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ බව වාර්තා වේ. මහ කොමසාරිස්වරිය ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කළාය.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා දෙරටේ ජනතාව අතර පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මහ කොමසාරිස්වරිය එහිදී පෙන්වා දී තිබේ.

අධ්‍යාපන සහ ආයෝජන ක්ෂේත්‍රවල නව අවස්ථා

ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ විශ්වවිද්‍යාල අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය. එමෙන්ම නිපුණතා සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දක්වන දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය, මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන අංශ වෙත කැනේඩියානු ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින උනන්දුව ද පැහැදිලි කර ඇත.