තේ, පොල්, තල් සහ වැවිලි කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙන රුපියල් මිලියන 13,000ක අයවැය ප්‍රතිපාදනය සම්බන්ධයෙන් රජයේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රචාරක කණ්ඩායම් වැරදි මතයක් පතුරුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම මුදල මලයහ ජනතාවගේ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන්ම පමණක් වෙන් කර ඇති බවට හඟවමින් ජනතාව නොමග යවා ඇති බවයි. මේ පිළිබඳව ඔහු සිය X ගිණුමේ විශේෂ සටහනක් තබමින් කරුණු දක්වා තිබේ.

ව්‍යාජ බලාපොරොත්තු සහ ජනාධිපතිගේ විශ්වසනීයත්වය

මෙවැනි නොමග යවන සුළු ප්‍රචාර හේතුවෙන් කිසිවක් නොදන්නා අහිංසක වතුකරයේ ජනතාව අතර ව්‍යාජ බලාපොරොත්තු ඇති වන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. එමෙන්ම එමගින් ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වයට පවා දැඩි හානියක් සිදුවන බවද ඔහු සිය පණිවිඩය මගින් පෙන්වා දී ඇත.

මලයහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අරමුදල් වෙන් කිරීමට අපොහොසත් වීම එක් කරුණක් වුවත්, අසත්‍ය තොරතුරු පතුරුවමින් ඔවුන් නොමග යැවීම ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. ඒ නිසා මෙවැනි අසත්‍ය ප්‍රචාර තවදුරටත් සිදු වීමට ඉඩදී තමන්ට නිහඬව සිටිය නොහැකි බවත්, මලයහ ජනතාව නොමග යැවීමෙන් වළකින ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.