"අනුරාධපුර පුදබිම වනසන ආණ්ඩුවේ ඊනියා සංවර්ධන සැලැස්ම පරදමු" යන මැයෙන් ඓතිහාසික රුවන්වැලිසෑය පුදබිම ඉදිරිපිට දන්සල් භූමියේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
සත්‍යග්‍රහය ආරම්භ කළ ස්ථානයේ තාවකාලික ඉදිකිරීම් සිදු නොකරන ලෙස පොලිසිය කලින් දැනුම් දී තිබුණද, එම ඉදිකිරීම් කරමින් විරෝධතාව ආරම්භ කර තිබූ අතර පොලිසිය විසින් උපවාසයට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි.
පොලිසිය සහ සංඝරත්නය අතර උණුසුම් තත්ත්වය
සත්‍යග්‍රහයට එක්වූ සිවිල් බැතිමතකු සහ පිටස්තර පුද්ගලයකු අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කර තිබේ. ඒ අවස්ථාවේදී මහා සංඝරත්නය ඊට මැදිහත් වීමත් සමඟ පොලිසිය සහ උන්වහන්සේලා අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.
නොසන්සුන්තාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු ශබ්ද පූජාව පැවැත්වූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතරතුර ඇති වූ තත්ත්වයෙන් බළංගොඩ කස්සප හිමියන් ඇතුළු කිහිප නමකට සුළු තුවාල සිදුව ඇති බව සඳහන් වේ.
බළංගොඩ කස්සප හිමියන්ගේ ප්‍රකාශය
ඉන්දියාවට පූජා භූමි සහ රටේ ඉඩම් පැවරීමේ ව්‍යාපෘතියට එරෙහිව රුවන්වැලිසෑ රදුන් අභියස අධිෂ්ඨාන පූජාවක් පවත්වා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බව බළංගොඩ කස්සප හිමියෝ පැවසූහ.
රුවන්වැලි චෛත්‍යරාමාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ලබාගෙන, ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.






