දීපාවලී උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ විවිධත්වයෙන් පිරි සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරගනිමින් එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවයි.

මෙම උත්සවය අප අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීමට ලැබෙන ඉතා කදිම අවස්ථාවක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

අන්ධකාරය පරදා ආලෝකය උදා කිරීම

අන්ධකාරය පරදවා ආලෝකය උදා කරමින් සහ නපුරට එරෙහිව යහපත ලැබූ ජයග්‍රහණය සංකේතවත් කෙරෙන දීපාවලි උත්සවය ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි මංගල්‍යයක් බව අගමැතිනියගේ පණිවුඩයේ දැක්වේ.

පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වන්නා සේම, සිත් තුළ පවතින ද්වේෂය, ඊර්ෂ්‍යාව මෙන්ම අඥානකම දුරු කර ප්‍රඥාවේ හා කරුණාවේ පහන් දැල්වීමට මෙම දිනය අවස්ථාවක් කරගත යුතු බව ඇය පවසයි. ශ්‍රී ලංකාව වැනි බහුජාතික සහ බහුආගමික රටක මෙම බැඳීම් බෙහෙවින් වැදගත් වන බවත්, ලක් වැසි මෙන්ම ලෝවැසි සියලු හින්දු භක්තිකයින්ට සතුට, සාමය, සෞඛ්‍යය හා සමෘද්ධිය පිරි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.