පොලිස්පතිවරයාට එරෙහිව ඍජු තීරණයක් ගත් බන්දුල ගුණරත්න ගම්පහ මහේස්ත්‍රාත්වරයා හිටිහැටියේ මාරු කිරීම බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (06) සභාවේදී පැවසීය. පැහැර ගැනීම් පිළිබඳ ගැසට් පත්‍රය මුළු රටටම නිකුත් විය යුතු වුවත් එය එක් පළාතකට පමණක් ගැසූ බවත්, එම ගැසට්ටුව වැරදි බවට ගම්පහ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නඩුකාරවරුන් විසි එක් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබියදී, එදා පොලිස්පතිවරයාට විරුද්ධව ලිපිගොනුව අභියාචනාධිකරණයට යැවූ නිසා මෙම පියවර ගෙන ඇති බවට දසනායක මහතා චෝදනා කළේය. ආණ්ඩුව නීතියට අත නොතබන බව කියමින් මෙලෙස කටයුතු කිරීම ප්‍රශ්න සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දයාසිරි සහ මුජිබර් දැක්වූ අදහස්

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයකට අදාළව ක්‍රියාමාර්ග ගත් සහ පැහැර ගැනීම්වලට විරුද්ධව කටයුතු කළ මහේස්ත්‍රාත්වරයාට මාරුවී යාමට සිදුව ඇති බවයි. රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ එලෙස දැයි ඔහු ප්‍රශ්න කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ බන්දුල ගුණරත්න මහේස්ත්‍රාත්වරයා මාරු කර ඇත්තේ පොලිස්පතිවරයාට එරෙහිව තීන්දුවක් ලබා දුන් නිසා බවයි. අධිකරණයේ ස්වාධීනත්වය හදන්නේ මෙලෙසින් දැයි ඔහු ආණ්ඩුවෙන් විමසා සිටියේය.