විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව පද්ධතිය මෙහෙයවන ජාතික පද්ධති ක්‍රියාකරු හෙවත් NSO ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබියදීත්, ඒ සඳහා මහජන උපදේශන පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම දැඩි කතාබහකට ලක්ව තිබේ. මේ හරහා මහජන මුදල් නාස්ති වන්නේ මන්දැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

පවතින දත්ත සහ පුරෝකථන අනුව මෙම වසරේදී යළි විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා පැවසීය. මෙවැනි ක්‍රියාමාර්ග මඟින් සිදුවන්නේ ඇතැම් විපක්ෂ දේශපාලනඥයන්ට, පරාජිතයන්ට සහ යූටියුබ්කරුවන්ට මත පළ කිරීමට අනවශ්‍ය වේදිකාවක් සැකසීම පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වියදම බිලියන 4කින් අඩු වෙලා

සාමාන්‍ය පරිදි ජාතික පද්ධති ක්‍රියාකරු විසින් සෑම කාර්තුවකටම අදාළ විදුලි උත්පාදන පිරිවැය පුරෝකථන ඉදිරිපත් කරනු ලබයි. ඔක්තෝබර් 6 වැනිදා යැවූ ලිපියකින් NSO ආයතනය පෙන්වා දී ඇත්තේ, විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 129 සිට රුපියල් බිලියන 125 දක්වා පහත වැටී ඇති බවයි. නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් ගාස්තු සංශෝධනයක කිසිදු අවශ්‍යතාවක් නැති බව ඇමැතිවරයා සඳහන් කළේය.

NSO ස්ථාවරය නොවෙනස්ව

මේ අතර 2026 සිව්වැනි කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊයේ පැවති පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවේදීද NSO (Pvt) Ltd ආයතනය සිය ස්ථාවරය යළි තහවුරු කර තිබේ. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කිසිදු ගාස්තු වැඩිකිරීමක් බලාපොරොත්තු නොවන බව ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.

ජලාශවල පවතින ධාරිතාව මෙන්ම එල් නිනෝ (El Niño) තත්ත්වය හමුවේ සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වැසි ලැබෙනු ඇතැයි පළවූ කාලගුණ අනාවැකි සලකා බලා මෙම තීරණයට පැමිණි බව එම ආයතනය වැඩිදුරටත් පවසා ඇත.