බෙංගාල බොක්ක කලාපයේ ඇති වන කාලගුණික තර්ජන මෙන්ම කලාපීය ආරක්ෂක අභියෝගයන් සැලකිල්ලට ගනිමින් සමුද්‍රීය නිරීක්ෂණ ශක්තිය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඊශ්‍රායලයෙන් නවීන තාක්ෂණය සහිත නියමුවන් රහිත ගුවන් යානා හතරක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළේය. දෙරට අතර ඇති කරගන්නා සෘජු ගිවිසුමක් යටතේ ඊශ්‍රායල අභ්‍යවකාශ කර්මාන්ත ආයතනයෙන් මෙම පද්ධති ලබාගැනීමට නියමිත බව සඳහන් වේ.
මිලියන 4,261ක මුදලක් වෙන් වෙයි
මෙම නියමුවන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ස්ථාපිත කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 4,261ක මුදලක් වෙන් කරමින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒකාබද්ධ අරමුදලින්, වෙනත් රාජ්‍ය අරමුදල්වලින් හෝ ණය පහසුකම් මගින් මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට නියමිතය.
මෙරට මුහුදු සීමාව නිරීක්ෂණය සහ අනතුරු අවස්ථාවන්හිදී සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන්ම ආරක්ෂක අභියෝග මෙන්ම අයහපත් කාලගුණික ආපදාවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම මෙමගින් අපේක්ෂා කෙරේ.






