ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදාහරින පෞද්ගලික සමාගමක් විසින් සිලින්ඩරයක මිල සැලකිය යුතු අයුරින් ඉහළ දැමීම පිළිබඳව කරුණු විමසීමට අදාළ අංශ පාර්ලිමේන්තුවට කැඳවා තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මෙලෙස කැඳවා ඇත.
මිල පාලනය ගැන සභාපතිවරයා කී කතාව
මෙහිදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ගෘහස්ථ ගෑස් සඳහා මිල නියම කිරීමේ බලයක් තම ආයතනයට නොමැති බවයි. එසේ වුවත් පාරිභෝගිකයින්ට වන අපහසුතාව සලකා තමන් මැදිහත් වූ බවත්, අදාළ පෞද්ගලික සමාගම සමඟ සාකච්ඡා කර මිල අඩු කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
වෙළෙඳපොළේ අඩු කොටසක් හිමිවීම නිසා වැඩි මිලකට ගෑස් මිලදී ගැනීමට සිදුවූ බවත්, ඒ නිසා මිල ඉහළ දැමූ බවත් එම සමාගම පැහැදිලි කළ බව සභාපතිවරයා පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී ගෑස් සැපයුමට බාධා නොවීමට සහ පාරිභෝගිකයන් පීඩාවට පත්නොවීමට වගබලා ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කර ඇත.






