ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ මෙරට සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින බවයි. මෙම අගය සියයට 19ක පමණ ප්‍රතිශතයක් වුවත්, සැබෑ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

දියවැඩියාව මෙන්ම අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග හේතුවෙන් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අභියෝගයකට මුහුණ දී සිටින බවද ඔහු සිහිපත් කර සිටියේය.

මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමේ වැදගත්කම

කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වුවත් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වීම අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මුල් අවදියේදීම රෝගී තත්ත්වය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සහ පාලනයකට යොමු වීමෙන් පසුකාලීනව මතුවිය හැකි බරපතළ සංකූලතා රැසක් වළක්වාගත හැකි බවද ඔහු පැහැදිලි කළේය.

එසේ නොවුණහොත් රෝගය උත්සන්න වී බයිපාස් සැත්කම් වැනි මිල අධික ප්‍රතිකර්ම සඳහා යොමු වීමට සිදුවන අතර, එය රෝගියාගේ ජීවන තත්ත්වයට මෙන්ම සමස්ත රටේ සෞඛ්‍ය පද්ධතියටත් විශාල බරක් එක්කරන බව ඒ මහතා අවධාරණය කළේය. මෙවර අයවැය මගින්ද බෝ නොවන රෝග පිළිබඳ ජනතාවගේ අවධානය යොමුකිරීමට සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්කර ඇති බවද සඳහන් විය.

“දියවැඩියාව කියන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තිබෙන ලොකුම අභියෝගවලින් එකක්. මොකද අපේ ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස අප හඳුනාගෙන තිබෙනවා. දළ වශයෙන් ගත් විට එය සියයට 19ක පමණ ප්‍රතිශතයක්. නමුත් මේ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකියි.”වෛද්‍ය හංසක විජේමුණි

කොළඹ තත්ත්වය තවත් බරපතළයි

මේ අතර ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දෙන්නේ මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 15කට වැඩි පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය වඩාත් අවදානම් සහගත වන අතර, එහි වැඩිහිටියන් සෑම සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුටම දියවැඩියාව වැළඳී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.