ඊයේ රාත්‍රී කාලයේ කොළඹ නගරයට පතිත වූ අධික වර්ෂාව නිසා ස්ථාන කිහිපයක්ම මුළුමනින්ම ජලයෙන් යටවී ගියේය. එම අවස්ථාවේ ජලයෙන් පිරී තිබූ ප්‍රධාන මාර්ගයක මෙට්‍රෝ බස් රථයක් ගමන් කරන ආකාරය පෙන්වමින් ප්‍රකට යූටියුබ් ශිල්පී ඉරාජ් වීරරත්න සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැරීමට පියවර ගෙන තිබුණි.

ජලයට බැස සිටි ඔහු, 'වාව්, වතුර යටින් යන මෙට්‍රෝ බස්' යනුවෙන් සටහන් කරමින් කොළඹ නගර සභාවට දැඩිව චෝදනා කළේය. නගර සභාව කාණු පිරිසිදු නොකරන නිසා තමන්ගේ තරුණයින් බැස ඒවා සුද්ද කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.

සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි ප්‍රතිචාර

කෙසේ වෙතත්, මෙම වීඩියෝව පළවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය. දේශපාලන වාසි සඳහා හෝ ආණ්ඩුවක් පෙරළීමේ අරමුණින් මෙවැනි ස්වභාවික ආපදාවකදී සතුටු වීම අනුමත කළ නොහැකි බවත්, ජනතාව පීඩා විඳිද්දී ඔහු විනෝද වන බවත් බහුතරයක් දෙනා චෝදනා කළහ.

පැය 2ක් වැනි කෙටි කාලයක් තුළ මිලිමීටර් 129ක පමණ දැඩි වර්ෂාපතනයක් ලැබීම මෙවැනි තත්ත්වයකට හේතු වූ බවත්, එය වසර 72කින් පසු අත්දුටු සිදුවීමක් බවත් ඇතැම්හු පෙන්වා දුන්හ. එසේම ජනතාව කාණුවලට කුණු දැමීම ද මීට බලපා ඇති බව පැවසේ.

“කොළඹම යට වෙලා මුන්ට කාණුවක් සුද්ද කරගන්න බෑ”ඉරාජ් වීරරත්න

දේශපාලන කතා සහ රසිකයන්ගේ කණගාටුව

වත්මන් පාලනය ඉලක්ක කරගෙන මෙය සිදු කළ බවට චෝදනා කළ පිරිස්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදීත් කොළඹ මෙලෙසම යටවූ බව සිහිපත් කර තිබුණි.

තවත් පිරිසක් ඔහුගේ මානසික තත්ත්වය ගැන උපහාසයෙන් අදහස් පළ කරමින්, කුණු ජලයට බැසීම නිසා මී උණ හැදිය හැකි බවට ද අනතුරු අඟවා ඇත. අතීතයේ දක්ෂ නිර්මාණ බිහිකළ සංගීතඥයෙකු දේශපාලනය නිසා මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳව ඇතැම් පැරණි රසිකයන් කණගාටුව පළ කර තිබේ.