ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කරගැනීමට රජය බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
කොළඹ දී අද (07) පැවති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඕනෑම පාර්ශ්වයක් එක්ක කතා කරන්න සූදානම්
මෙම පනත් දෙක පිළිබඳව කලබලයට පත්ව සිටින ඕනෑම පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
මෙවැනි නීති සම්පාදනය කිරීමේදී පාර්ලිමේන්තුවේ කැමැත්ත පමණක් නොව ජනතාවගේ කැමැත්ත ද අත්‍යවශ්‍ය බව හඳුනාගෙන කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ජනතාවගේ සංවිධාන සමඟ සාකච්ඡා කිරීමකින් තොරව මෙම පනත් දෙක පාර්ලිමේන්තුවේදී සම්මත කර නොගන්නා බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව වාර්තා වේ.






