වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අද (26) අධිකරණයට ප්‍රකාශ කළාය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබේ.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය අමතමින් කියා සිටියේ අදාළ චෝදනාවට තම සේවාදායිකාව වරද පිළිගන්නා බවයි. එම දැනුම්දීම ලැබීමෙන් අනතුරුව නඩු විභාගය සුළු වේලාවකට කල් තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

නීතිපති උපදෙස් මත ගොනු කළ චෝදනා හත

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු සපයා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව පවසමින් මෙම නඩුව පවරා තිබුණි. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ සමස්ත චෝදනා සංඛ්‍යාව හතකි.

චෝදනා පත්‍රයට අනුව, 2016 ජූලි 14 සිට 2017 ජූලි 16 දක්වා කාලය තුළත්, 2018 ජූලි 17 සිට 2019 ජූලි 16 දක්වා කාලය තුළත් ඇය වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිට ඇතැයි චෝදනා එල්ල වී තිබේ. ඊට අමතරව 2020 ජූලි 16 සහ 2020 නොවැම්බර් 01 අතර කාලයේදී මෙන්ම 2020 ජූලි 17 සිට 2020 නොවැම්බර් 01 දක්වා කාලය තුළද වීසා නැතිව රැඳී සිටි බවට චෝදනා ගොනු කර තිබිණි. තවද 2014 ජනවාරි 20 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට අයැදුම් කිරීමේදී අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ චෝදනාවද ඊට ඇතුළත් විය.

රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක නඩු භාණ්ඩයක් ලෙස සේප්පුවේ

මීට පෙර පැවති නඩු වාරවලදී මෙකී චෝදනා අතුරින් දෙකකට අදාළ සාක්ෂි විභාගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවා තිබූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 සහ දෙසැම්බර් 01 යන දිනවලදී පැවැත්වීමට නියම කර තිබුණි.

ඇප මත මුදාහැර සිටි විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට භාරදී තිබූ අතර, එය අධිකරණ සේප්පුවේ තැන්පත් කර තැබීමටද නියෝග කර තිබිණි. බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඇය මෙරට මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබූ බවද මීට පෙර අධිකරණය හමුවේ අනාවරණය වී තිබුණි.