පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එමගින් පත් කළ අනුකමිටුවේ ඒකාබද්ධ හමුවක් පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.

විදේශයන්හිදී ලිංගික අපරාධවලට වරදකරුවන් වී ලංකාවට පිටුවහල් කරන අයගේ පෙර වැරදි පිළිබඳව මෙරට ආයතන නොදැනුවත් වීමෙන් ඔවුන් සාමාන්‍ය වැසියන් සේ සමාජගත වන බව අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී ඇත. එමගින් එවැනි අය අතින් නැවතත් එවැනි අපරාධ සිදුවීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

ජාත්‍යන්තර දත්ත පද්ධතියක් සහ දැඩි විමර්ශන

එවැනි වැරදිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධීකරණයක් ඇති කරගැනීමත්, ඒවා පොලිස් අපරාධ වාර්තා පද්ධතියට එක් කිරීමට අවශ්‍ය නීති සහ තාක්ෂණික ක්‍රම සම්පාදනය කිරීම ගැනත් මෙහිදී අවධානය යොමු විය.

විශේෂයෙන්ම ළමයින් ආශ්‍රිත ආයතන සඳහා සේවකයන් බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් සොයාබැලීමක් සිදුකිරීමට මෙන්ම, නැවත මෙවැනි වැරදි වැළැක්වීමට නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමයක් හැදීමටද කතාබහ කර තිබේ.

පරිවාස දරුවන්ගේ සුබසාධනය සහ පනත් සංශෝධන

පරිවාස භාරයේ සිටින චූදිත හා වින්දිත දරුවන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීමටත්, මාස හයකට වරක් ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමටත් මෙහිදී යෝජනා විය. පළාත් සභා යටතේ පවතින පරිවාස ආයතන මධ්‍යම රජයට ගැනීම සහ පළපුරුදු නිලධාරීන් පත් කිරීම ගැනද සාකච්ඡා වී ඇත.

තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත කඩිනමින් සංශෝධනය කිරීමටත්, රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා නඩු තීන්දු පමාවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම්දීමටත් තීරණය වී තිබේ.