කටාර්හී දෝහා නුවරදී පැවැති නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය ඒ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 318ක දැවැන්ත ඉලක්කය ඕවර 41.3කදී කඩුලු 2ක් පමණක් දැවී සම්පූර්ණ කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශිෂ්ට සබඳතාව

ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන පන්දු 70 කදී හත⁣රේ පහර 10 ක් සහ හයේ පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 105ක් ලබාගත්තේය. අනගි ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් කෘස්පුල්ලේ පන්දු 107 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 116 ක් රැස් කළේය.

ඉන් අනතුරුව නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 58 ක් සහ පවන් රත්නායක නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඉන්දීය පිලේ ඉනිම

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඒ පිල නියමිත ඕවර 50 තුළදී කඩුලු 8කට ලකුණු 317ක් ලබාගත්තේය. එහිදී අභිෂේක් ශර්මා ලකුණු 78 ක්, ශබාෂ් අහ්මඩ් ලකුණු 54 ක්, තිලක් වර්මා ලකුණු 53 ක් සහ වෛභාවි සූර්යවංශි ලකුණු 40 ක් වාර්තා කළහ. කුමාර් කුෂග්‍රා ලකුණු 21 ක් සහ තනූෂ් කෝටියන් ලකුණු 28 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් රවිදු ප්‍රනාන්දු ලකුණු 60කට කඩුලු 2ක්ද, ජනිත් ලියනගේ ලකුණු 37කට කඩුලු 2ක්ද, නිපුන් ධනංජය ලකුණු 41කට කඩුලු 2ක්ද බැගින් දවාලූහ.