ආහාර ගත් පසු බඩේ බර ගතියක්, නාභිය අවට කැක්කුමක් හෝ උදරයේ තැනින් තැන වේදනාවක් ආ විට බොහෝ දෙනෙක් සිතන්නේ එය සාමාන්‍ය 'ගෑස්' තත්ත්වයක් කියාය. එහෙත් හැම අවස්ථාවකදීම එය ගෑස් නිසාම ඇති නොවන බව ඉන්දියාවේ සීකේ බිර්ලා රෝහලේ ආමාශ ආන්ත්රවේද අංශයේ අධ්යක්ෂ වෛද්‍ය අනුකල්ප් ප්‍රකාශ් පෙන්වා දී තිබේ. NDTV වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා කර ඇත.
වෛද්‍යවරයා සඳහන් කරන්නේ ගෑස් වේදනාව උදරයේ විවිධ ප්‍රදේශවලින් මතුවිය හැකි අතර එම ලක්ෂණ වෙනත් රෝගවලට බෙහෙවින් සමාන වන බවයි. ආමාශයේ හෝ ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ගෑස් රැඳුණු විට ඉළ ඇටවලට පහළින් පීඩනයක් හෝ බඩ පිරී ඇති ස්වභාවයක් ඇති විය හැකිය. ගුඩුස් යෑම සහ ඔක්කාරය ද මීට එක්විය හැකි වුවත්, ඉහළ උදරයේ දිගටම පවතින වේදනාව ආම්ලිකතාවය, ගැස්ට්‍රයිටිස් හෝ පිත්තාශයේ ගැටලුවක් නිසා ද මතුවිය හැකි බව පැවසේ.
උදරයේ විවිධ තැන්වලට දැනෙන වේදනාව
අන්ත්‍රවල ගෑස් පිරුණු විට යටිබඩ ප්‍රදේශයේ මිරිකන හෝ පෙරළෙන ආකාරයේ වේදනාවක් හටගෙන, එය වම් සහ දකුණු පැතිවලට මාරු වන ස්වභාවයක් පෙන්වයි. ගෑස් පිටවීමෙන් හෝ මළපහ කිරීමෙන් පසු ඊට සහනයක් ලැබෙන බව සඳහන් වේ.
මහාන්ත්‍රයේ දකුණු පස කොටසේ ගෑස් සිරවීමෙන් දකුණු ඉළ ඇටයට පහළින් හෝ උදරයේ දකුණු පසින් වේදනාවක් හටගත හැකිය. නමුත් එම වේදනාව දැඩිව දිගටම පවතින්නේ නම් එය ඇපෙන්ඩික්ස් හෝ පිත්තාශයේ රෝගයක පෙර නිමිත්තක් විය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. එසේම වම් පස ඉළ ඇටවලට පහළින් ඇනුම් කන හෝ පෙරළෙන වේදනාවක් මෙන්ම, නාභිය අවට තද ගතියක් හා බඩේ ශබ්ද ඇතිවීම ද ගෑස් පිරීම නිසා සිදුවිය හැකිය.
නිවසේදීම කළ හැකි සරල ප්‍රතිකාර
අධිකව ගෑස් සෑදීම පාලනය කරගැනීමට සෞඛ්‍ය සම්පන්න පුරුදු කිහිපයක් අනුගමනය කළ හැකි බව වෛද්‍ය අනුකල්ප් ප්‍රකාශ් පවසයි. කෑම ගත් පසු විනාඩි 10ත් 15ත් අතර කාලයක් ඇවිදීම, දවස පුරා සරිලන පරිදි ජලය පානය කිරීම සහ බඩ ප්‍රදේශයට උණුසුම් තැවීමක් සිදු කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකි බව සඳහන් වේ.
තවද ආහාර කඩිමුඩියේ නොගෙන සෙමින් හොඳින් හපමින් ආහාරයට ගැනීම වැදගත් වේ. යම් හෙයකින් තමන්ට අසාත්මික වන ආහාර වර්ග හඳුනාගෙන ඇත්නම්, එම ආහාරවලින් වැළකී සිටීම ගෑස් වේදනාවෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය බව ද උපදෙස් දී තිබේ.






