ස්පාඤ්ඤ දෙවන පෙළ පාපන්දු ලීගයේ ඊයේ (02) පැවති තරගයක් අතරතුර Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් (Jesús de Miguel) ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ගැටී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මියයන විට ඔහුගේ වයස අවුරුදු 30 කි. තරගය FC Andorra කණ්ඩායමට එරෙහිව පැවති අතර, එය නිමාවීමට ආසන්න වෙද්දී ලකුණු 2ට-2ක් ලෙස සම තත්ත්වයේ පැවති මොහොතක මෙම අනතුර සිදු විය.
මිගෙල් තමන් වෙත ආ පන්දුව රැගෙන ගෝලයක් ලබා ගැනීමට පහරදීමට සැරසෙද්දී, FC Andorra කණ්ඩායමේ ගෝල රකින්නා වන ජේසුස් ඔවෝනෝ නීති විරෝධී ලෙස ඉදිරියට පැන පන්දුව රැකීමට උත්සාහ කර තිබේ. එහිදී ඔහුගේ දණහිස සහ හිස මිගෙල්ගේ පපුවේ ප්රබලව වැදී ඇති අතර මිගෙල් එම ස්ථානයේදීම ඇද වැටී ඇත.
පපුවේ අභ්‍යන්තර තුවාල නිසා ජීවිතය අහිමි වෙයි
අනතුර සිදු වූ විගස සෞඛ්‍ය සේවකයින් විසින් ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළ නමුත්, පපුවේ අභ්‍යන්තරයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් අද (03) උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් පසු පාපන්දු ක්‍රීඩකයින් රැසක් මෙන්ම ක්‍රීඩා සමාජද සිය කනගාටුව පළ කර තිබේ. මේ හේතුව නිසා ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය මඟින් අද දින පැවැත්වීමට නියමිතව තිබූ Copa del Rey සහ Copa de la Reina තරගාවලිවල සියලු තරග කල් දැමීමට පියවර ගෙන ඇත.
ජේසුස් ද මිගෙල්ගේ පාපන්දු දිවිය
මැඩ්රිඩ් නුවර උපත ලැබූ මිගෙල් තම පාපන්දු දිවිය ඇරඹුවේ 2015 වසරේදී Leganes කණ්ඩායම හරහාය. ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ කණ්ඩායම් අටක් නියෝජනය කරමින් ක්‍රීඩා කළ ඔහු, 2023 දී Castellon පිලට එක්වෙමින් ගෝල 16ක් ලබාගෙන එම කණ්ඩායම දෙවන පෙළට ඔසවා තැබීමට ක්‍රියා කළේය.
පසුව 2025 වසරේදී වසර තුනක ගිවිසුමක් මත Tenerife කණ්ඩායමට එක්වූ ඔහු, තරග 29කදී ගෝල 11ක් රැස්කර තිබුණි. හදිසියේ සමුගත් ජේසුස් ද මිගෙල් එක්දරු පියෙකු වන අතර මියයන විට ඔහුගේ දියණියගේ වයස අවුරුද්දකි.






