1980 දශකයේ ලංකාවේද අතිශය ජනප්‍රියත්වයට පත් වූ 'ඩයනා කට්' හෙවත් 'පර්ඩි' (Purdey) කොණ්ඩා මෝස්තරයේ නිර්මාතෘ වූ ජෝන් ෆ්රීඩා වයස අවුරුදු 75දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඩයනා කුමරිය, ට්විගී, ජැකී කෙනඩි ඔනාසිස්, මැඩෝනා සහ ස්කාර්ලට් ජොහැන්සන් වැනි ලෝක පූජිත චරිත රැසකගේ හිසකෙස් හැඩගැන්වීමේ ගෞරවය හිමිව තිබුණේ ඔහුටය.
ඔහුගේ සැලෝන් ආයතනය අඟහරුවාදා ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදරණීය ජෝන් සිය පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවයි. ඔහු කේශාලංකාර ක්ෂේත්රයේ විශිෂ්ට ප්‍රතිමූර්තියක් මෙන්ම ගුරුවරයෙකු වූ බවත්, ඔහුගේ උරුමය ඉදිරියට ගෙන යන බවත් එහි දැක්විණි.
ඇලන් නමින් ඇරඹි ගමන ජෝන් දක්වා පැමිණි හැටි
1951 වසරේදී ලන්ඩනයේ ඇලන් හොවාර්ඩ් ෆ්රීඩා ලෙස උපන් ඔහුගේ පියා සහ සීයාද මෙම ක්ෂේත්රයේ නියැළුණු අය වූහ. පියා ඊලිං ප්‍රදේශයේ සැලෝන් එකක් කළ අතර සීයා ෆ්ලීට් වීදියේ බාබර්වරයෙකි. ඔහු සේවය කළ තැන ඇලන් නමින් තවත් ශිල්පියෙකු සිටි නිසා ඔහු සිය නම 'ජෝන්' ලෙස වෙනස් කරගෙන තිබේ.
පසුව ලන්ඩනයේ House of Leonard හි සේවයට එක්වූ ඔහු ලෙනාඩ් ලුවිස්ගේ සහායකයෙකු ලෙස කටයුතු කළේය. 1976 දී 25 වැනි වියේදී සිය මුල්ම සැලෝනය විවෘත කළ ජෝන්, එම වසරේදීම 'The New Avengers' කතාමාලාවේ ජොආනා ලම්ලි වෙනුවෙන් නිර්මාණය කළ 'Purdey' කොණ්ඩා මෝස්තරය හරහා බ්‍රිතාන්‍යය පුරා දැවැන්ත පෙරළියක් ඇති කළේය.
“අපගේ ආදරණීය ජෝන් සිය පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන සාමකාමීව අවසන් හුස්ම හෙළූ පුවත ඉතා බරපතළ හදවතකින් යුතුව බෙදාගන්නෙමු,”ඔහුගේ සැලෝන් ආයතනය
ව්‍යාපාරික ජයග්‍රහණ සහ පෞද්ගලික ජීවිතය
1976 වසරේදීම 'Shout' ගායිකා ලුලු සමඟ විවාහ වූ ජෝන්, ලොව ප්‍රකට Frizz Ease නිෂ්පාදන පෙළ සහ සැලෝන් ජාලය බිහි කළේය. 1989 දී ඔහු 'වසරේ බ්‍රිතාන්‍ය කේශාලංකාර ශිල්පියා' ලෙස සම්මාන ලැබූ අතර බ්‍රිතාන්‍ය Vogue සහ Harper's Bazaar සඟරාවලටද දායක විය.
ලුලු සමඟ 1991 දී දික්කසාද වූ පසු, ඔහුට ජෝර්ඩන් නමින් පුතෙකු සිටී. පසුව ඔහු 2019 දී ෆ්රාන්සස් ඒවරි ඇග්නෙලි සමඟ විවාහ වූ අතර ඔවුන්ට ජැක්සන් සහ ලේලා නමින් දරුවන් දෙදෙනෙකු සිටී. 2002 දී ඔහු සිය හිසකෙස් නිෂ්පාදන ව්‍යාපාරය ජපානයේ Kao සමූහයට පවුම් මිලියන 260කට විකුණූ අතර සැලෝන් 5ක හිමිකාරීත්වය පමණක් තබා ගත්තේය. මියයන විට ඔහු සිය බිරිඳ, දරුවන් සිව්දෙනා සහ මුණුබුරන් දෙදෙනා දමා ගොස් ඇත.






